Sunday, January 7, 2018

ෂා එෆ් එම් වාලම්පුරිය...

සෑහෙන දවසකින් එන්න බැරි උන එකට සමාව ඉල්ලනවා මුලින්ම.බ්ලොග් යාළුවො හැම දෙනාටම වැඩි වැඩියෙන් ලස්සන දේවල් ලියන්න හිතෙන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

             මේකයි කතාව...මගේ මහත්තයා ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්.ජනවාරි 1වෙනිදා පෝය නේ.ඒ නිසා මුකුත් වැඩක් තිබුනේ නෑ.දෙවැනිදා ඉඳන් තමයි හැමෝම වැඩ පටන් ගත්තේ.මගේ ඔෆිස් එකේ පැවැත්වෙන පිරිත් සහ තේ පන් සංග්‍රහයට පොඩි කෑමකුත් හදාගෙන උදේ 6.30 අපි දෙන්නා මගේ ඔෆිස් එකට ආවා.මාව බස්සලා එයා ආපහු ගියා.ගෙදර ගිහින් කාලා බීලා කලින් බාරගෙන තිබුන ප්ලෑන් එකකුයි ඇස්තමේන්තුවකුයි අදාළ කෙනාට ගිහින් දෙන්න පිටත් උනා.ඒක දීලා වසරේ පලවෙනි ලැබීම විදියට ප්ලෑන් එකට අදාළ මුදලත් අරගෙන අක්කගේ හොටෙල් එකට ගියා අවුරුද්දේ අක්කවත් බලල එන්න.ඒ කඩේ ජෝඩුවක් ඉඳගෙන තේ බොන ගමන් අක්කාගෙන් ඇහුවලු මේ නිවාස සැලසුම් බෝර්ඩ් එකේ තියන කෙනා කව්ද එයාව කොහොමද අපි හම්බෙන්නේ කියලා..එතකොට මගේ මහත්තයත් එතනලු.අක්කා ඉතිං මේ ඉන්නේ කියල එයාව පෙන්නලා.

           ඊට පස්සේ අදාළ තොරතුරු කතා කරගෙන ඉඩම බලන්න යන්න වෙලාවක් දාගෙන ඒ වැඩේ එතනින් ඉවරයි.අක්කටයි මල්ලිටයි දෙන්නටම සතුටුයි අවුරුද්දේ වැඩ පටන් ගත්තු දවසෙම ප්ලෑන් එකක් ආවනේ.එතකොටම තව අන්කල් කෙනක් ඇවිල්ලා තවත් ප්ලෑන් එකක් ඇඳගන්න.එයත් එක්කත් ඒ අදාළ විස්තර කතා කෙරුවලු.
          "පුතා වජිර හවුස් එකේ වැඩ කරාද?" ඒ අර අන්කල්
         "නෑ අන්කල්"
         "හරි පුතා අපි තට්ටු දෙකට ගේ හදන්න හිතන් ඉන්නේ.ඉඩම බලන්න යමුද"
         "අන්කල් ට හදිස්සිම නම් මම දැන් එන්නම්.ලොකු හදිස්සියක් නැත්නම් වෙන වෙලාවක එන්නම්.එන පාර කියන්නකෝ."
         අන්කල් යන පාර කිව්වලු.
         "අන්කල් කවදට වගේද වැඩ පටන් ගන්න ඉන්නේ."
         අන්කල් නෝ කතා..ටිකකින් මුලින් කියපු ටිකයි ගෙදරට යන පාරයි ආයේම කිව්වලු.
         වයසක කෙනෙක්නේ කමක් නෑ කියලා මෙයා කිව්වලු,
        "එහෙනම් අන්කල් යමු මම පිටිපස්සෙන් එන්නම් ඉඩමට"කියලා.
දෙන්නා යනවා...ඉස්සරහින් අන්කල් ඒ පාරේම මෙයත් යනවා.ඇතුලට ඇතුලට සැහෙන දුරක් ගිහින් පුංචි ගේ පොඩ්ඩක් එක්ක තියන ඉඩමකට ආවලු.
         "පුතා මේක තමා ඉඩම.මේකේ අර පැත්තට වෙන්න තමයි ගේ හදන්න ඉන්නේ."
        එතකොටම ඇන්ටි ආවලු එලියට.
        "අපි අපේ පුතාට තමයි ගේ හදන්නේ.එයාට ඕන විදියට තමයි හදන්න ඕන.එයත් එක්කත් කතා කරලා බලමු.එයා සල්ලි ටික ආව ගමන්ම මේ මුළු වත්ත වටේටම වැට ගහනවා කිව්වා."ඒ ඇන්ටි.
       "එහෙනම් අපි දිශා ටික එහෙම බලමුකෝ"කියලා අපේ එක්කෙනා මාලිමාව එහෙම එලියට අරන් බැලුවාලු.එතකොටම ඇන්ටි ගෙට ගිහින් කොලේකුයි පෑනකුයි අරන් මොනවදෝ ලියනවලු...අන්කලුයි ඇන්ටි අමුතු විදියට හිනා වෙවී ලු මේ හැමදේම කියන්නේ කරන්නේ.මෙයාට ටිකක් සැකයකුත් හිතුනලු මේ දෙන්නා ට මොකක් හැරි අවුලක් තියන දෙන්නෙක් වත් ද  කියලා.කමක් නෑ කියලා අන්කල් එක්ක අදාළ දේවල් කතා කරාලු.එතකොටම ඇන්ටි ඇවිත් අර කොලේ දුන්නලු.

       "මෙන්න පුතා දිශා ටික" කියලා.
       ඉතිං මෙයා අන්කලුයි ඇන්ටි එක්ක ප්ලෑන් එකට අවශ්‍ය විස්තර කතා කරාලු.
      ටික වෙලාවකින් අන්කල් "පුතා කොළඹ වැඩ කරාද?"ඇහුවලු.
        "ඔව් අන්කල් වැඩ කරා ඇයි ?
        "නෑ දැකල පුරුදුයි"
        "නෑ අන්කල් ට මාව දකින්න විදියක් නෑ."
        "නෑ නෑ පුතා මම මේ පෙරේදත් කොළඹ ගිහින් ආවේ.."
       එතකොට ඇන්ටි හරි සතුටින් හිනා උනාලු...
        "අර පුතා ලෝක වෙළඳ මධ්‍යස්ථාන බිල්ඩින් එකේ තියෙන්නේ ෂා එෆ් එම් එක.ඒකට මම ගියා.අර ෂා එෆ් එම් වාලම්පුරිය ට අපි කාර්ඩ් 5000ක් ලිව්වා..ඒත් ඒවා අරන් යන්න එන අය ඒ වෙනකොට මෙහෙට ඇවිත් ගිහින්.ඉතිං ෂා එකට කෝල් කරලා ඇහුවම පුළුවන් නම් ගෙනත් දෙන්න කිව්වා.මම හදිස්සියේම ඒක ගිහින් දීල ආවේ."ඒ අන්කල්.
       "ඒකෙ අය කිව්වා ඔයාලට අනිවාර්යෙන්ම මේකෙන් ලොකු ත්‍යාග මුදලක් හම්බෙයි.බලාපොරොත්තුවෙන් ඉන්න කියලා.එකේ සල්ලි හම්බුනාම තමයි අපි මේ වැට ගහලා ගේ වැඩ පටන් ගන්න ඉන්නේ."ඇන්ටි කියපි....
        ☺☺☺මගේ මහත්තයට හිනා වෙන්නත් බෑ ලු තරහත් ගියාලු.
       "අපි කලිනුත් සැරයක් දැම්ම.ඒත් වැඩේ මිස් උනා.මේ සැරේ නම් හරි.."අන්කල්...
      මොනවා කරන්නද..පව් වයසක ජෝඩුවට බනින්නද?හිනා වෙන්නද?
      "හරි අන්කල් එහෙනම් මගේ කාර්ඩ් එක තියනවනේ.පුතාට කියන්නකෝ මට කෝල් එකක් දෙන්න කියලා."
       එහෙම කියලා ආවලු එන්න

     
     

Thursday, December 14, 2017

බව්වා


කූක්....කූක්....
අපි රෑ කෑම කාලා ඉවර වෙනකොට සාලෙන් සද්දයක් ඇහුනා...අපි දෙන්න ගිහින් බලනකොට පොලොස් ගෙඩියක් වගේ බලු කුක්කෙක් ගේ ඇතුළේ...නැට්ට වන වනා... ඇඹරි ඇඹරි බයේ ඉන්නවා අපි ගහයි කියලද දන්නේ නෑ..පව්..
          සාලේ තියාගන්න බැරි නිසා අපි ඉතිං එලියට දැම්මා...කුස්සිය පැත්තෙන් ගිහින් බිස්කට් එකක් කුඩු කරලා දැම්මා..අනේ ඌ කන්න දන්නේ නෑ තාම කිරි බොන වයසේ...
            ආ...ඊයේ ගෙනාපු කිරි හට්ටියේ කිරි ටිකක් තියනවනේ...බතුත් එක්ක අනලා ඌට දුන්නා..අනේ කාගෙන කාගෙන ගියා...
            මට හිතුනේ මෙහෙමයි...ඌ උයාගෙන කන්නද අනේ මට බඩගිනි කියල ඉල්ලගෙන කන්නද?යන්න තැනක් නැතුවනේ ඇවිල්ලා තියෙන්නේ...ඔන්න ඔහේ හිටපුදෙන්...
            ගෙදර අය නම් වැඩිය කැමති උනේ නෑ..බැල්ලි පැටියෙක් නිසා...නැන්දම්මා උදේ ඌව උස්සගෙන කොහෙට හරි ගිහින් දාන්න ලෑස්තිය.මහත්තය කිව්වා එපා අම්මා ඔන්න ඔහේ ඉන්නවා නම් හිටපුදෙන්...ලොකු උනාම බෙහෙත් විදලවත් තියාගමු කියලා..
පහුවදා..........
           මහත්තයා නානකොට එතෙන්ට ඇවිල්ලා නැට්ට වන වනා නටනවලු හරි සතුටෙන්...හරියට පොඩි ළමයි වතුරට ආසාවේ වගේ...ඌ ට සතුටු නැතැයි දැන් වේල් කීපයක් කන්නත් දුන්නා ඉන්න රෙදි දාලා පෙට්ටියකුත් හදලා දීලා නැන්දම්මා...මූ ලඟින් පොඩි ගඳකුත් ආව නිසා මහත්තය මූව නාවලා..ඒ වෙලේ ඉඳන් ඌට අමුතු ජොලියක් ගිහින්ලු...උඩ පනිනවලු දුවනවලු සෙරෙප්පු අදිනවලු...පිස්සු කේස් එකක්...
         එදා රෑ නැන්දම්මා කිව්වා පුතේ මූව ගෙයක් ලඟින් ගිහින් දාමු කියලා...මම සද්ද නෑ."අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...දැන් හැම වෙලේම ගෙට එනවා...දොරවල් වහගෙනම ඉන්නද ඒ නිසා ගිහින් දාමු..."ඒ නැන්දම්මා...
         එහෙනම් බයික් එකේ අපි දෙන්න ගිහින් දාලා එමුද කියල අරයා මගෙන් ඇහුවා...කවදාවත් එයා කියන දේකට බෑ කියල නැති උනත් ජීවිතේ පලවෙනි වතාවට මම කිව්වා අනේ මට නම් බෑ ඒ වැඩේ කරන්න කියලා...
        ඌව ගිහින් දාන්න හැදුවේ ඕන සතෙක් ආවාම කන්න දීලා එලවන්නෙත් නැතුව ඔහේ ඉන්න අරින නැන්ද කෙනෙක්ගේ ගෙයක් ලඟට..ඒ නිසා වැඩේ වරදක් නැතුව ඇති.එත් මට හිතට එකඟව ඒක කරන්න බෑ.ගෙදර ඉන්න සත්තු පන්සල් වල පාරේ ගිහින් දාන මිනිස්සුන්ට අපි බනින්නේ කොහොමද?ඉතින් එහෙම බනින අපිම ඒ වරද කරන්නේ කොහොමද?අප්පා මට නම් බෑ..ඌ ගිහින් දැම්මට පස්සේ වාහනේක හැප්පිලා මැරුණා කියන ආරංචිය අවොත්,කන්න නැතුව වැටිලා ඉන්නවා කියල දැනගන්න ලැබුනොත් මමනේ ඌව ගිහින් දැම්මේ කියන වරදකාරී හැංගීමෙන් මට මිදෙන්න බැරි වෙයි..
         කීප වතාවක්ම නැන්දම්මා කිව්වා ගිහින් දාන්න කියලා.....මම නෝ කතා...අරයත් කරන දෙයක් හිතාගන්න බැරුව ඉන්නවා..එයා කිව්වා එහෙනම් අම්මා අපි   දෙන්නා ගිහින් දාමු කියලා..ඇයි දුවට බැරිද?නැන්දම්මා අහපි...මම නෝ කතා...හහ් ආයේ අපි ඌ  ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...ආයෙත් පරණ වාක්‍යම දෙතුන් සැරයක් කිව්වා...නැන්දම්මටත් මේ කරන්නේ වරදක්දෝ කියන හැංගීම එන්න ඇති මම හැසිරුණ විදියට.ඒ වරද සාධාරණීකරණය කරගන්න තමයි අර වගේ කතා කියා කියා හිත හදාගන්නේ.
        කරන්නේ වරදක් කියල හර්ද සාක්ෂියට දැනෙනවා නම් අපේ පහසුව පිණිස වරද ජස්ටිෆයි කරන්න මම කැමති නෑ.. නොදැන කෙරුවත් වරද වරදමයි.
         කොහොම හරි අම්මයි පුතයි දෙන්නා බව්වා ගිහින් දාලා ආවා...අර නැන්දලගේ ගේ ළඟ ඌ කූ කූ ග ගා කෑ ගහනවා අපේ ගෙදරට ඇහෙනවා.වෙන ලොකු බල්ලොත් ඌ   ට පාර්ට් දානවා ඇහෙනවා...මට දුකයි...හැබැයි මම ගිහින් දැම්මා නම් ඒ දුක දෙගුණ වෙනවා...මට කරන්න දෙයක් නෑනේ ඉතින්...නැන්දම්මා නම් න් දාලා ආව වෙලේ ඉඳන් අර වාක්‍ය "අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා..."   කියා කියාමයි නින්දට  ගියේ...එයාට වරදකාරී හැංගීමෙන් මිදෙන්න අමාරු ඇති...
     
         මේ සිද්ධිය නිසාම නෙමෙයි...මිනිස්සු පවක් වරදක් කරන්න සිද්ධ උනාම ඒක සාධාරණීකරණය කරගෙන කරනවා..එහෙම කරා කියලා විපාක අඩු වෙයිද කවදාවත්?එහෙනම් බුද්ධ දේශනාවෙන් රිංගලා ඕන පවක් කරන්න පුළුවන්නේ විපාක නැතුව...

         

නියං ආධාරේ



පහුගිය කාලේ තිබුන පෑවිල්ලට කුඹුරු මරුන නිසා ඒ අයට නියං ආධාර විදියට රුපියල් පන්දාහක බඩු මල්ලක් දෙන කතාවක් තිබුනා නේද?ඔන්න අපේ ගෙදරිනුත් එකට කොලයක් පුරවලා දුන්නා...මාමණ්ඩිගේ (හබී ගේ තාත්තා) නමට කුඹුර තියන නිසා ඒ නමින් කොලේ පුරවලා දුන්නා...
            ෂාහ් සුබ ආරංචියක් ☺..
ඔන්න අපේ නමත් නියං ආධාර දෙන ලිස්ට් එකේ තියනවලු....හැබැයි ආධාර දෙන්න එක කොන්දේසියක් පිට....ඒ මොකද්ද ඒ?
     " නියං ආධාර දෙන්න නම් ලිස්ට් එකේ නම තියන සියලු දෙනා දවස් පහක් ගමේ ශ්‍රමදානෙකට එන්න ඕන"
එහෙම නීතියක් කොහේ හරි කවුරු හරි පනවලා තියනවද?ඔය නියං ආධාර දෙන අදාළ ආයතනයකින් හරි?මම දන්නේ නැති නිසයි අහන්නේ...
     කමක් නෑ ඉතින් ගම නේ සුද්ද කරන්නේ කියලා අපේ නැන්දම්මා (හබී ගේ අම්මා) ගියා ශ්‍රම දානෙට.අපේ එක්කෙනා එපා කියද්දී කමක් නෑ රජයෙන් දෙන එකනේ කියලා දවසක් ගියා දෙකක් ගියා දෙවැනි දවසේ උදේ දහයට විතර කිව්වලු අනු පවුල් වල නම් දාල තියන අයට විතරයි ආධාර දෙන්නේ කියලා.
      අනු පවුල් කියන්නේ ප්‍රධාන පවුලේ පුතාලා දුවලා කසාද බැඳලා හැදෙන පවුල්.
ඉතිං දෙයියනේ කුඹුරු පාලු උනේ ඉඩම් හිමියන්ගේ.කොලේ නම දාන්න තිබුනෙත් ඉඩම් හිමියාගේ.හැබැයි ආධාර දෙන්නේ අනු පවුල් වලටලු.
     ඉතිං ආධාර ලැබෙන්නේ නැත්නම් මොනවට ඉන්නවද කියලා නැන්දම්මා ආපහු ඇවිල්ලා...

අනේ මන්දා කාගේ නීතිද කියලා...අපේ මාමණ්ඩි කියන්නා වගේ මේ ලෝකේ එකම බොරු ගුලියක්...

Wednesday, December 13, 2017

ඔක්කොම හොඳටයි-01


අමාලි අලුත් ඉස්කෝලේ හය වසරට ශිෂ්‍යත්වේ පාස් වෙලා ආවේ හරිම ආසාවකින්.හැබැයි හිතේ පොඩි චකිතයකුත් තිබුනා.එයා ගත්තු තීරණේ සතුටට හේතු වෙයිද නැද්ද කියලා.මොකද්දෝ නුහුරු නුපුරුදු බවක් අලුත් ඉස්කෝලේ දී දැනුනා...
                 එයා ශිෂ්‍යත්වේ පාස් උනාට හය වසරේත් අගෝස්තු මාසේ වෙනකල් එයාට අලුත් ඉස්කෝලයක් ආවේ නෑ.අම්මලා එක එක ඉස්කෝල වලට දාන්න හැදුවත් එයාට ඕන උනේ එහා ගෙදර අක්කා යන ඉස්කොලෙටම යන්න.නිමේෂා අක්කා අමාලිගේ මොඩල් එක වෙලා තිබුනේ.එයා කරන දේ මයි අමාලිටත් කරන්න ඕන උනේ.ඒ නිසා ඒ ඉස්කොලෙටම යන්න ඕන කියන හැගීමෙන් මිදුනෙම නෑ.අමාලිගේ පෙරත්තයටම අම්මයි අප්පච්චියි අලුත් ඉස්කෝලෙට ගිහින් හොයල බලලා එවන්න පරක්කු වෙලා තිබුන ලියුම අරගෙන ඉස්කෝලෙට මෙයාව දාගත්තා.ඔය පරක්කුව නිසා එයා ඉස්කෝලෙට යනකොට පන්තියේ අනික් ළමයි ඉස්කෝලෙට ඇවිල්ලා මාස කීපයක්.ඒකයි මෙයාට නුහුරු නුපුරුදු ආගන්තුක බවක් දැනුනේ.
               ඒත් අලුත් යාලුවෝ මෙයාව ආදරෙන් පිළිගත්තා.හැමෝම යාලු උනා.කතා කරා..අමාලිගේ අප්පච්චී සර් කෙනෙක්...අමාලි කලින් හිටපු ඉස්කෝලේ තමයි වැඩ කරේ.ඒ නිසා ඒ කාලේ එයාට ගුරුවරුන්ගේ විශේෂ වරප්‍රසාද ලැබුනා.හැබැයි අලුත් ඉස්කෝලෙදි ඒ හැමදේම අහිමි උනා.අමාලිට ඒ අඩුවත් ටිකක් දැනුනා.කලින් එකේ හිටියා නම් අනිවාර්යෙන් පළවෙනියා.ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයිම හතළිහකින් අමාලි දහ අට වෙනියා..පොඩි දුකක් මදිකමක් වගෙත් දැනුනා.හැබැයි වැඩේ අතෑරියේ නෑ.ටිකෙන් ටික පස් වෙනියා හය වෙනියා තත්වෙට අමාලි ආවා.
               අමාලි කියන්නේ ටිකක් දුක් විඳපු කෙනෙක්.ඒ මොකද එයාගේ අප්පච්චී සර් කෙනෙක් උනාට හොඳටම බීමට ඇබ්බැහි වෙලා හිටියේ.අම්මා නර්ස් කෙනෙක්.අමාලි පුංචිම දවස් වල අම්මා නර්සින්ග් ස්කූල් එකේ ට්‍රේනිං.දෙන්නම රජයේ සේවකයෝ උනත් අප්පච්චිගේ බීමත්කම නිසා ලොකු දියුණුවක් තිබුනේ නෑ..අමාලි ශිෂ්‍යත්වේ ලියනකල්ම හිටියේ පොල් අතු ගෙදරක.පාඩම් කරද්දී කුප්පි ලාම්පුව පෙරලිලා ගිනි ගත්තා කීප සැරයක්ම.බීලා ඇවිල්ලා අම්මා එක්ක අප්පච්චී රණ්ඩු කරනකොට අමාලි කිරි අම්මලාගේ ගෙදර එක්ක යනවා.අම්මා ට්‍රේනිං ගියාම අප්පච්චී යාලුවෝ එක්ක බොනවා.අමාලිගේ ලොකු මාමා ඇවිල්ලා අප්පච්චිට බැනලා අමාලිව එක්කන් යනවා.හැබැයි අප්පච්චිට හිතුනාම සමහර දවස් වලට මාර හොඳයි.අමාලිව නවල කවලා ඇඳුම් සෝදලා ඔක්කොම කරනවා.ඒ තරම් හොඳ මනුස්සයෙක් තවත් නැහැ.බිව්වේ නැත්නම් දෙවියෙක්.මේ නිසා අප්පච්චිගේ බීම ගැන අමාලි තරහක් තියාගත්තේ නෑ.හැබැයි දුකෙන් හිටියේ.
              අමාලිගේ අම්මා දැන් නර්ස් කෙනෙක්.ඔන්න ටික කාලෙකින් අමාලිට නංගියෙක් හරි මල්ලියෙක් හරි එන ආරංචියකුත් ආවා...එතකොට අමාලි හතර වසරේ...අමාලි ඉල්ලුවෙම නංගි කෙනෙක්.ඇයි දන්නවද මල්ලි කෙනෙක් අවොත් ලොකු වෙලා අප්පච්චී වගේ බීමට යයි කියලා....ඒ තරම්ම අකමැතියි මේ බීමට අමාලි.දවසක් කොන්දේ කපන්න ගිහින් අමාලිගේ කොන්ඩේ කපනකල් අප්පච්චී අතුරුදහන්.ඉවරවෙලා බලනකොට සැලුන් එක ගාව බිම ඉඳගෙන.බීලා වැඩිකමට නැගිටලා යන්න බෑ.අමාලි මොනවා කරන්නද අප්පච්චිගේ සාක්කුවෙන් රුපියල් තුනක් අරන් බස් එකක ගෙදර ආවා...එතකොට අමාලි තුන වසරේ විතර ඉන්න ඇති.ඒ එක සිද්ධියක්.
              ආයේ අමාලිගේ පුංචිට බබා හම්බුනා දවසේ අමාලියි අප්පච්චියි දෙන්න ඉස්පිරිතාලෙට යන්න පාරට ආවා.බස් එකට මාරු නෑ කියලා තැඹිලි කඩේට ගියා සල්ලි මාරු කරන් එන්න.තැඹිලි කඩේ කියන්නේ අප්පච්චී බොන තැන.කඩෙන් එලියට එනකොට අප්පච්චිගේ මුණ ටිකක් වෙනස් වෙලා..හරි ඔන්න අදත් බීලා.කොහොම හරි දෙන්නා බස් එකකට නැග්ගා.ටිකක් දුර යනකොට අප්පච්චිගේ ලොකු වෙනසක් තේරුනා...හොඳටම මත් වෙලා සිහියත් අඩුයි වගේ.ඉස්පිරිතාලෙට යන්න බහින්න ඕන තැනත් පහු උනා අප්පච්චිට බහින්න සිහියක් නෑ.අමාලි අප්පච්චිව ඇහැරවන්න ට්‍රයි කරා..ම්හු...නෝ කතා..වැනෙනවා විතරයි.අමාලි හයියෙන් කෑ ගැහුවා අපි මෙතනින් බහිනවා කියලා..හෝල්ට් එකක් පහු වෙලා බස් එක නැවැත්තුවා..අමාලි අප්පච්චිවත් අල්ලාගෙන බැස්සා.තව කීප දෙනෙකුත් බැස්සා.අප්පච්චිට බස් හෝල්ට් එක අල්ලාගෙන ඉන්න බෑ වැනෙනවා.එතන හිටපු අන්කල් කෙනෙක් මේ සිද්දිය බලාගෙන.ඇවිත් ඇහුවා පුතේ කොහෙටද යන්න ඕන කියලා.විස්තරේ කිව්වම මම ඔයාව ගිහින් දැන්නම් කියලා අමාලිව විතරක් එක්කගෙන ගියා.අමාලි යන්නේ එයාගේ අම්මත් වැඩ කරන ඉස්පිරිතාලේටමයි.අමාලි පාර දන්නවා ඒ නිසා.අර අන්කල් යනගමන් කියනවා පුතේ ඔයා පාර දන්නවනේ මම ඔයාව වෙන කොහේ හරි එක්ක යනවා වගේ තේරුනොත් කියන්න කියල.බය වෙන්නත් එපා කිව්වා.කොහොම හරි අමාලිව අම්ම වැඩ කරන වාට්ටුවට එක්ක ගියා.අමාලිව අම්මට දීලා අර අන්කල් මෙහෙම කිව්වා.මිස් මම දුවව එක්කන් ආවේ.මෙන්න මගේ නමයි ඇඩ්රස් එකයි.මොනවා හරි ප්‍රශ්නයක් නම් කියන්න.වෙන මොනවද මගෙන් කෙරෙන්න ඕන කියලත් ඇහුවා.අම්මා කොච්චර අසරණ වෙන්න ඇත්ද?කොච්චර බය හිතෙන්න ඇත්ද?පුළුවන් නම් මහත්තය එක්කගෙන එන්න කිව්වා.ඒ අන්කල් ඒ වැඩෙත් කරා....එයින් පස්සේ අම්ම අමාලිව අප්පච්චී එක්ක ගමන් යැව්වේ නැති තරම්.නයිට් ඩියුටි දවසටත් අප්පච්චී බීල නම් අම්ම අමාලිව එක්ක ගියා.
             ඔන්න ඔහොමයි අමාලි ශිෂ්‍යත්වේ ලියනකල් ගත උනේ.
           

Friday, December 8, 2017

අම්මේ සෑහෙන දුකක් විඳලා බ්ලොග් එක නම් හදාගත්තා.දැන් මේකේ ලිය ලියා ඉඳලා හරියන්නේ නැහැ.ඔෆිස් එකේ වැඩක් කරගන්න ඕන.හදිස්සියට ලිව්වට කියවන්න හිතෙන එකකුත් නැනේ.ඒ නිසා හෙමින් සැරේ ලියන්නම්.මේක මම ආසම වැඩක්.බ්ලොග් ප්‍රවීණයෝ හැමෝම සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා....................