Monday, February 5, 2018

හර්ද සාක්ෂිය.....


අපිට අපේ ජීවිත දිහා බලන්න හොඳම කැඩපත තමයි හර්ද සාක්ෂිය.ඒකට එකඟව වැඩ කරනවා නම් මිනිස්සු හොර වැඩ ජරා වැඩ කුහක කම් කරන්නේ නෑ කවදාවත්.තමන් කරන දේ මොකද්ද ලෝකෙට පෙන්නනේ මොකද්ද හැබැයි හිතේ ඇත්තටම තියන අදහස මොකද්ද කියන තුනම එකක් වෙනවා නම් කියලා වැඩක් නෑ.අංක එකේ genuine මිනිස්සු කියන්නේ අන්න ඒ අයට.එහෙම කෙනෙක් හොයාගන්නවා කියන්නේ කළු නික හොයනවා වගේ වැඩක්.අඩු වැඩි වශයෙන් මම අපි හැමෝගෙමත් ඒ ගතිය නැති වෙලාවල් තියනවා.හැබැයි එහෙම ගතියක් ඇත්තෙම නැති අය තමයි වැඩි.
හර්ද සාක්ෂියට පිටුපාන්න අපිට තියා සතෙකුටවත් බැහැ.හොරා කාපු බල්ලෙක් බලලෙක් උනත් නැට්ට අකුලාගෙන බිම බලාගෙන ශේප් එකේ මාරු වෙන්න හදන්නේ උන් වරදක් කළා කියලා උන් දන්නා නිසා.

හැබැයි හොර බොරු වංචා කුහක කම් කරලා,ඉරිසියා කරලා හිත වල නරක අදහස් තියාගෙන ලෝකෙට හොඳ මුණ පෙන්නන මුකුත් නොකරා වගේ සත් ගුණවත් මිනිස්සු වගේ කිසි පීඩනයක් නැතුව ඉන්න මිනිස්සු අර හොරා කාපු බල්ලෝ බලලුන්ටත් හපන්.

කියමනක් අහලා තියනවා “කරන්න බැරි දේවල් කිව්වට කමක් නෑ කියන්න බැරි දේවල් කරන්න එපා”කියලා.ඕක තමයි ඉතිං අවංකව ජීවත් වෙන එකේ පදනම.

Friday, February 2, 2018

ඔක්කොම හොඳටයි -02

                          අමාලිට දැන් ලස්සන සුදු බෝලේ වගේ නංගි පැටියෙක් ඉන්නවා...නංගි ඉපදුන දවසේ ඉස්පිරිතාලේ ගියාම නංගි දාල එන්න බෑ කියලා අමාලි වාටුවේ නැවතුනා නංගි ළඟ.අම්මා නර්ස් කෙනෙක් නිසා අවුලක් උනේ නැහැ.නංගි ගෙදර එක්කන් ඇවිත් ගෙට ගොඩවෙන්න කලින් දොරකඩ ළඟදීම අමාලි නංගිට හුරතල් නමක් දැම්මා සිඟිති කියලා...දැන් ඉතිං අමාලිට වෙන වැඩක් නෑ නංගි ළඟ ම තමයි..
                          කාලය ඔය විදියට ගත උනා...අමාලි හිටපු පොළ අතු ගෙදර කාමර වෙන් උනේ ඉටි රෙදි වලින්.එක දවසක් අම්ම රෑ වැඩ දවසක මහා වැස්සක් ආවා..අමාලියි,අප්පච්චියි,නංගි හිටපු කාමරේ එක බිත්තියක් පොඩ්ඩක් ඇල වෙලා කියලා අප්පච්චිට තේරුනා.(ඉස්සර අප්පච්චී බීලා වෙරි මරගාතේ කියවනකොට අම්මා රෑ වැඩට ගිය දවස් වලට අම්මගේ ඇඳන් හිටපු ගවුමක් තුරුල් කරන් අඬ අඬ නිදාගත්තු කාමරේ මේක.දැන් නංගි බබා තුරුල් කරන් අමාලි නිදියන්නේ)හොඳටම බය වෙච්ච අප්පච්චී පහුවදාම බාගෙට හදලා තිබුන අලුත් ගේ වැඩ ටික ඉවර කරලා පදිංචි වෙන්න තීරණය කළා...
                        ඉතිං ඔන්න එයාලා අලුත් ගේ කාමර දෙකක් විතරක් හදාගෙන පදිංචි උනා..අමාලිගේ නංගි ලොකු වෙන්න වෙන්න අප්පච්චිගේ බීම ටිකක් විතර අඩු උනා.අමාලි කවදාවත් අප්පච්චිට බොන්න එපා කිව්වේ නැති උනාට නංගි යන්තම් කතා කරන කාලේ ඉඳන්ම වචන එකතු කර කර කිව්වා බොන්න එපා කියලා..ඒක අහන්නේ නැතුව ඉන්න අප්පච්චිට බැරි වෙන්න ඇති.
                       මේ වෙනකොට අමාලිගේ අත්තම්මා අප්පච්චිගේ අම්මා ඇවිල්ල හිටියේ.ඒත් වැඩි කාලයක් හිටියේ නැහැ.එයා ආපහු ගියා.අම්මා වැඩට ගිහින් අප්පච්චී ඉස්කෝලේ ගිහින් අමාලිත් ඉස්කෝලේ ගියාම සිඟිති ව බලාගත්තේ නිමේෂා අක්කලාගේ අම්මා..මුතු නැන්දා.ගමේ ඉන්න හොඳම කෙනා.ගෙවල් ගානේ යන්නේ නෑ ඕපාදුප නෑ ගමේ ගෙවිලියක් උනාට හරි බුද්ධිමත් නැන්දා කෙනෙක්.අමාලිත් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා එහෙ ඉන්නේ.ඇවිල්ලා නංගිට කිරි හදලා පොවනවා.ලොකු ගෑනියෙක් වගේ කිරි බෝතලේ හදලා අතේ මැණික් කටුව ලඟට කිරි බින්දුවක් හලාගෙන බලනවා රස්නේ වැඩි ද කියලා.අම්මගෙන් බලාගෙන ඉගෙන ගත්තේ ඒ වැඩේ.
                    ඔහොම දින සති මාස ගත උනා.අමාලි නංගි දෙන්නම ටික ටික ලොකු වෙනවා.අමාලි වැඩි විය පැමිණුනේ මේ අතරේදී.අප්පච්චිට හරි සතුටුයි.එත් ඒ සතුට සමරන්න හිතේ හැටියට අතේ සල්ලි නෑ.අමාලිට පොඩි කාලේ අරන් දුන්න මාලෙයි තවත් අතේ තිබුන සල්ලි දාලා මාලයක් ගත්තා.කලින් හම්බුනා අලුත්ම කරාබු ජෝඩුවක් තිබුනා.අමාලි එක තියාගෙනම හිටියේ ඔය දවසට දාන්න.ලොකු ලොකු උත්සව නම් නෑ.එත් අහල පහල අය ඇවිල්ලා තෑගී බෝග දීල ගියා.ඒ දවස් ටිකම ගත උනේ ඒ තෑගී වට කරගෙන.
                     ජීවිතේ වෙනමම පිටුවක් පෙරලෙන්නේ මෙතනින් පස්සේ...
..............................................????????????????????????????

Sunday, January 7, 2018

ෂා එෆ් එම් වාලම්පුරිය...

සෑහෙන දවසකින් එන්න බැරි උන එකට සමාව ඉල්ලනවා මුලින්ම.බ්ලොග් යාළුවො හැම දෙනාටම වැඩි වැඩියෙන් ලස්සන දේවල් ලියන්න හිතෙන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

             මේකයි කතාව...මගේ මහත්තයා ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්.ජනවාරි 1වෙනිදා පෝය නේ.ඒ නිසා මුකුත් වැඩක් තිබුනේ නෑ.දෙවැනිදා ඉඳන් තමයි හැමෝම වැඩ පටන් ගත්තේ.මගේ ඔෆිස් එකේ පැවැත්වෙන පිරිත් සහ තේ පන් සංග්‍රහයට පොඩි කෑමකුත් හදාගෙන උදේ 6.30 අපි දෙන්නා මගේ ඔෆිස් එකට ආවා.මාව බස්සලා එයා ආපහු ගියා.ගෙදර ගිහින් කාලා බීලා කලින් බාරගෙන තිබුන ප්ලෑන් එකකුයි ඇස්තමේන්තුවකුයි අදාළ කෙනාට ගිහින් දෙන්න පිටත් උනා.ඒක දීලා වසරේ පලවෙනි ලැබීම විදියට ප්ලෑන් එකට අදාළ මුදලත් අරගෙන අක්කගේ හොටෙල් එකට ගියා අවුරුද්දේ අක්කවත් බලල එන්න.ඒ කඩේ ජෝඩුවක් ඉඳගෙන තේ බොන ගමන් අක්කාගෙන් ඇහුවලු මේ නිවාස සැලසුම් බෝර්ඩ් එකේ තියන කෙනා කව්ද එයාව කොහොමද අපි හම්බෙන්නේ කියලා..එතකොට මගේ මහත්තයත් එතනලු.අක්කා ඉතිං මේ ඉන්නේ කියල එයාව පෙන්නලා.

           ඊට පස්සේ අදාළ තොරතුරු කතා කරගෙන ඉඩම බලන්න යන්න වෙලාවක් දාගෙන ඒ වැඩේ එතනින් ඉවරයි.අක්කටයි මල්ලිටයි දෙන්නටම සතුටුයි අවුරුද්දේ වැඩ පටන් ගත්තු දවසෙම ප්ලෑන් එකක් ආවනේ.එතකොටම තව අන්කල් කෙනක් ඇවිල්ලා තවත් ප්ලෑන් එකක් ඇඳගන්න.එයත් එක්කත් ඒ අදාළ විස්තර කතා කෙරුවලු.
          "පුතා වජිර හවුස් එකේ වැඩ කරාද?" ඒ අර අන්කල්
         "නෑ අන්කල්"
         "හරි පුතා අපි තට්ටු දෙකට ගේ හදන්න හිතන් ඉන්නේ.ඉඩම බලන්න යමුද"
         "අන්කල් ට හදිස්සිම නම් මම දැන් එන්නම්.ලොකු හදිස්සියක් නැත්නම් වෙන වෙලාවක එන්නම්.එන පාර කියන්නකෝ."
         අන්කල් යන පාර කිව්වලු.
         "අන්කල් කවදට වගේද වැඩ පටන් ගන්න ඉන්නේ."
         අන්කල් නෝ කතා..ටිකකින් මුලින් කියපු ටිකයි ගෙදරට යන පාරයි ආයේම කිව්වලු.
         වයසක කෙනෙක්නේ කමක් නෑ කියලා මෙයා කිව්වලු,
        "එහෙනම් අන්කල් යමු මම පිටිපස්සෙන් එන්නම් ඉඩමට"කියලා.
දෙන්නා යනවා...ඉස්සරහින් අන්කල් ඒ පාරේම මෙයත් යනවා.ඇතුලට ඇතුලට සැහෙන දුරක් ගිහින් පුංචි ගේ පොඩ්ඩක් එක්ක තියන ඉඩමකට ආවලු.
         "පුතා මේක තමා ඉඩම.මේකේ අර පැත්තට වෙන්න තමයි ගේ හදන්න ඉන්නේ."
        එතකොටම ඇන්ටි ආවලු එලියට.
        "අපි අපේ පුතාට තමයි ගේ හදන්නේ.එයාට ඕන විදියට තමයි හදන්න ඕන.එයත් එක්කත් කතා කරලා බලමු.එයා සල්ලි ටික ආව ගමන්ම මේ මුළු වත්ත වටේටම වැට ගහනවා කිව්වා."ඒ ඇන්ටි.
       "එහෙනම් අපි දිශා ටික එහෙම බලමුකෝ"කියලා අපේ එක්කෙනා මාලිමාව එහෙම එලියට අරන් බැලුවාලු.එතකොටම ඇන්ටි ගෙට ගිහින් කොලේකුයි පෑනකුයි අරන් මොනවදෝ ලියනවලු...අන්කලුයි ඇන්ටි අමුතු විදියට හිනා වෙවී ලු මේ හැමදේම කියන්නේ කරන්නේ.මෙයාට ටිකක් සැකයකුත් හිතුනලු මේ දෙන්නා ට මොකක් හැරි අවුලක් තියන දෙන්නෙක් වත් ද  කියලා.කමක් නෑ කියලා අන්කල් එක්ක අදාළ දේවල් කතා කරාලු.එතකොටම ඇන්ටි ඇවිත් අර කොලේ දුන්නලු.

       "මෙන්න පුතා දිශා ටික" කියලා.
       ඉතිං මෙයා අන්කලුයි ඇන්ටි එක්ක ප්ලෑන් එකට අවශ්‍ය විස්තර කතා කරාලු.
      ටික වෙලාවකින් අන්කල් "පුතා කොළඹ වැඩ කරාද?"ඇහුවලු.
        "ඔව් අන්කල් වැඩ කරා ඇයි ?
        "නෑ දැකල පුරුදුයි"
        "නෑ අන්කල් ට මාව දකින්න විදියක් නෑ."
        "නෑ නෑ පුතා මම මේ පෙරේදත් කොළඹ ගිහින් ආවේ.."
       එතකොට ඇන්ටි හරි සතුටින් හිනා උනාලු...
        "අර පුතා ලෝක වෙළඳ මධ්‍යස්ථාන බිල්ඩින් එකේ තියෙන්නේ ෂා එෆ් එම් එක.ඒකට මම ගියා.අර ෂා එෆ් එම් වාලම්පුරිය ට අපි කාර්ඩ් 5000ක් ලිව්වා..ඒත් ඒවා අරන් යන්න එන අය ඒ වෙනකොට මෙහෙට ඇවිත් ගිහින්.ඉතිං ෂා එකට කෝල් කරලා ඇහුවම පුළුවන් නම් ගෙනත් දෙන්න කිව්වා.මම හදිස්සියේම ඒක ගිහින් දීල ආවේ."ඒ අන්කල්.
       "ඒකෙ අය කිව්වා ඔයාලට අනිවාර්යෙන්ම මේකෙන් ලොකු ත්‍යාග මුදලක් හම්බෙයි.බලාපොරොත්තුවෙන් ඉන්න කියලා.එකේ සල්ලි හම්බුනාම තමයි අපි මේ වැට ගහලා ගේ වැඩ පටන් ගන්න ඉන්නේ."ඇන්ටි කියපි....
        ☺☺☺මගේ මහත්තයට හිනා වෙන්නත් බෑ ලු තරහත් ගියාලු.
       "අපි කලිනුත් සැරයක් දැම්ම.ඒත් වැඩේ මිස් උනා.මේ සැරේ නම් හරි.."අන්කල්...
      මොනවා කරන්නද..පව් වයසක ජෝඩුවට බනින්නද?හිනා වෙන්නද?
      "හරි අන්කල් එහෙනම් මගේ කාර්ඩ් එක තියනවනේ.පුතාට කියන්නකෝ මට කෝල් එකක් දෙන්න කියලා."
       එහෙම කියලා ආවලු එන්න